Sunday, January 16, 2011

බැචා සහ දිට්ඨධම්මවේදනීය කර්ම

බැචා දිට්ඨධම්මවේදනීය කර්ම ගැන විශ්වාස කරන්න තීරණය කරා ඊයෙ පෙරේද ඉදං. මේ සෙමෙස්ටර් එකේ කරපු අතොරක් නැති විරෝධතා, පංති වර්ජන හින්දද කොහෙද බැචාගේ විභාගෙ කෙල වෙලාම ගියා. ඒ අස්සේ සීයට අසූව කියල අලුත් නීතියක් ගෙනත්. ගතවෙච්ච සෙමෙස්ටර් එකේ එක එක වෙලාවල් වල එක එක පංති කට් කරේ අන්තිම සතියේ තියෙන කුප්පියේ පිහිටෙන් ගොඩ යන්න හිතාගෙන. ඒ හින්ද සීයට අසූව නැහැ කියලා සෑහෙන විරෝධයක් විශ්ව විද්‍යාලයෙන් ආවා. ඕනම ප්‍රශ්නයකින් ගොඩ එන්න විදිහකුත් තියෙන හින්ද හොර වෙද සහතික ටිකක පිහිටෙන් දෙයිනේ කියල විභාගෙ ලිව්වා. හැබැයි ඒකෙත් මහ ලොකු හොදක් වුනේ නැහැ.


ඉතිං මේ හැම දෙයක් අස්සෙම බැචාගේ හිතේ මේ ටිකේ තියෙන්නේ සෑහෙන කලකිරීමක් වගේම පසුතැවිල්ලක්. විශ්ව විද්‍යාලෙ කියන්නෙ ඉස්කෝලයක් නෙවේ ඊට වෙනස් තැනක් කියලා බැචාට ටික ටික තේරෙන්න පටන් ගත්තේ ලගක ඉදං. ඉස්කෝලෙ නම් මොනව කරත් හිටපු සර්ලා මිස්ලා අනුකම්පාවෙන් බැලුවා. කොහොම හරි උගන්නන්න ඕන ටික ඉගැන්නුවා. ඉස්කෝලේ වෙලාවෙ බැරිනම් නිවාඩු දවසක ගෙන්නලා හරි ඉගැන්නුවා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නෙ වෙනස් තැනක්. විශ්ව විද්‍යාලෙ කියන්නේ පන්න පන්න උගන්නන තැනක් නෙවේ. ඕනෙ නම් ඉගෙනගන්න පුළුවන් තැනක්. ඉස්කෝලෙ වගේ ඔළුව අත ගගා හුරතල් කිරිල්ලක් විශ්ව විද්‍යාලෙ නැහැ. අපි එක එක දේට පංති වර්ජන කරද්දි ඒවයේ පාඩුව අපිටම විද දරාගන්න ඉඩ දුන්නේ ඒ හින්ද වෙන්න ඇති. එක්කෙනෙක්වත් පංතියට ආවෙ නැත්තං නම් ලකුණු කරන්නේ නෑ; ඒ හින්ද සීයට අසූවට පාඩුවක් නෑ කියලා අපේ ජ්‍යෙෂ්ටයෝ(සින්නෝ) බණ කිව්වා. හැබැයි ඒවත් ගණං කරල තියෙනව කියල දැනගද්දී කට්ටියගෙම සීයට අසූව අඩු වෙලා ඉවරයි.


ඔය ප්‍රශ්නෙම රැග් සීසන් එකෙත් තියෙනවා. හොස්ටල් වල නවක වදේ දෙනකොට සමහර ගුරුවරු නොදැක්කා නෑහුනා වගේ ඉන්නවා. හොස්ටල් එකේම නවාතැන් ගත්ත ලෙචාලට මේක රහසක් වෙන්න හේතුවක් නෑ. නමුත් ඒවට කිසි මැදිහත්වීමක් වෙන්නෙ නැත්තෙ ඇයි කියල බැචාට ඒ කාලෙ ලොකු ප්‍රශ්නයක් (වගේම තරහක්) තිබ්බා. ඒක ටික ටික තේරෙන්නෙත් දැනුයි. විශ්ව විද්‍යාලෙ කියන්නෙ වැඩිහිටියන් අධ්‍යාපනය ලබන තැනක් මිසක් මොන්ටිසෝරියක් නෙවේ. ඉස්කෝලේ විදුහල්පති වේවැල අරන් ළමයි පස්සෙ පන්නනවා වගේ උපකුලපතිතුමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පන්නන සිරිතක් නැහැ (බැචීලගෙ කන්‍යාභාවය පිරික්සන උපකුලපතිවරුන් සිටීම වියතිරේක අවස්ථාවක් බව කරුණාවෙන් සලකන්න). විශ්ව විද්‍යාල වල පරිසරය තීරණය කරන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඔවුන්ගේ තේරීම කොච්චර පටු වුනත්, මිලේච්ඡ වුනත් අවශ්‍ය මගපෙන්වීමක් කරනවා විනා ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීම විශ්ව විද්‍යාල වල ස්වභාවයයි.


කොහොම කොහොම හරි අපිට ඉගෙන ගන්න නියමිතව තිබිච්ච ඇතැම් දේවල් අපේම වරදින් ඉගෙන ගන්න තිබ්බ අවස්ථාව අපිම අහිමි කරගත්තා. ඒකෙ බරපතල කම මේ විභාගෙදි අපි කාටවත් දැනුනෙ නෑ.  මොකද ඒ තත්වය අපි හැමෝටම පොදුවුන හින්දා. නමුත් ඉස්සරහ දේවල් ඉගෙන ගන්න අමාරු වෙනකොට, අතහැරුණු දේවල් වල අගය හැමෝටම වැටහෙනවට සැකයක් නෑ. අපි නොදන්න දේවල් කැළණියේ, කොළඹ කට්ටිය දැනගෙන අපි ටික ටික පස්සට යනඑකටත් කිසි සැකයක් නෑ. ඕකට තමයි දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ. ඕකට “ඉදිරිය නොපෙනීම“ කියල කියන්නත් බැරිකමක් නෑ.


මොනව උනත් ඉස්සරහ සෙමෙස්ටර් එකවත් හොදට කරන්න තමයි බැචාගේ අරමුණ. බැචා ඉගෙන ගත්ත පාඩම් අනික් බැචාලත් ඉගෙන ගනිත්වා කියලා බැචා ප්‍රාර්ථනා කරන්නේ ඕක බැචාට විතරක් තේරිලා කිසිම වැඩක් නැති හින්දයි. ඒකටත් දිට්ඨධම්මවේදනීය කර්ම කියන්න පුළුවන්ද මන්දා..

3 comments:

  1. ඔයා සමායට හොද ආදර්ශයක් දෙන්න උත්සහ කරලා තියෙනවා ඔයාගේ ලිපියෙන්. මේ දේ හැමෝම තේරුම් ගන්නවානම් ප්‍රශ්න ගොඩක් අඩුයි.
    මම අහල තියනවා teenagerslage හොර්මොනේ ක්‍රියාකාරිත්වය වැඩි නිසා අවේග ශීලි කම මේ කාලයේදී එලියට එනවා කියල. ඒක විවිද දේ හරහා එන්න පුළුවන්. එත් තමන් කරන හැම වරද්දටම හෝමෝන වලට බනින්නේ නැතුව බැචා වගේ තමන්ගේ අතින් වෙන වැරදි තේරුම් ගෙන ඒවා නැවත නොවෙන්න කටයුතුකරනවානම් ගොඩක් හොදයි.

    ReplyDelete
  2. යතාර්ථ වාදියෙකුගේ සත්‍ය සටහනක්..........
    ඇත්ත තිත්ත වුවත් එය ඇත්තමය.....
    දිගටම ලියමු....
    මම ඔබත් එක්ක......

    ReplyDelete
  3. so true.. but the best thing to do is to learn by ourselves then waiting for the syllabus to be coverd in any educational institute.
    :)

    ReplyDelete