Monday, June 20, 2011

බැචා දැක්ක ක්‍රිකට් චිත්තරපටිය - Fire in Babylon

බැචා ජීවිතේටම බලල තිබ්බේ ක්‍රිකට් චිත්‍රපටි දෙකයි. එකක් ලගාන්. අනෙක සිංහාවලෝකනය. ඒ දෙකම හුදී ජනයාගේ පහන් සංවේගය වෙනුවෙන් හදපු ෆැන්ටසි චිත්‍රපට. ඒවයේ ලොකු වැදගත්කමක් බැචාටනං පෙනුනෙ නෑ. මේ අතරෙ තමයි බැචා ලෝක ක්‍රීඩා ඉතිහාසය දෙවනත් කරපු අති ශ්‍රේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ගැන තැනුනු වාර්තාමය චිත්‍රපටියක් බැචා දැක්කේ. චිත්‍රපටියෙ නම Fire in Babylon. ඉතිං ඒ ගැන සටහනක් තියන්න බැචා හිතුවා.

ක්‍රිකට් ඉතිහාසය පිලිබද පොඩි හෝ දැනුමක් තියෙන කවුරු උණත් බටහිර ඉන්දීය කොදෙව් පිල පතාක යෝධයන් විදිහට කාලයක් ක්‍රිකට් ලෝකයේ රජකල බව දන්නවා. Fire in Babylon කියන්නේ ඒ පතාක යෝධයන්ගේ උප්පත්ති කතාවයි. 1970 දශකයේ මුල බාගය වෙන කොට කොදෙව්වන් කියන්නේ ක්‍රකට් ක්ෂෙත්‍රයේ තීරක බලවේගයක් නෙවෙයි. ඒ වකවානුව ක්‍රිකට් කණ්ඩායමකට කෙසේ වෙතත් සාමාන්‍ය කළු ජාතිකයෙකුටවත් නිසි පිලිගැනීමක් නොතිබිච්ච අවදියක්. ලෝකය පුරා කළු ජාතිකයන් අවමානයට ලක් කෙරුනා. පහත් කිරීමට භාජනය වුනා. ඒ අවමන් ක්‍රිකට් පිත්තෙන් පරාජය කර කළු ජාතිකයන්ට පිලිගැනීමක්, ආත්ම අභිමානයක් හිමිකර දීම පිලිබද කතාපුවතයි Fire in Babylon.



1975 අවුරුද්දේ ඔස්ට්‍රේලියාවෙ සංචාරය කරන කොදෙවුවන් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ගේ මාරාන්තික පන්දුයැවීම හමුවේ අසරණ වෙනවා. නමුත් තමන්ගේ නැගිටීම සටහන් කරන්න ඔවුන් යොදා ගන්නෙත් ඔවුන් පහර කෑ ආයුධයමයි. ලෝකයේ භයානකම වේගපන්දු බලඇණිය කොදෙව් දූපත් වලින් බිහිවෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. ඒ බලඇණිය බිහිවන්නේ ක්ලයිව් ලොයිඩ්ගේ සූක්ෂම නායකත්වය යටතේයි. මේ සුපිරි කණ්ඩායම, තමන් ලැජ්ජාවට පත් කළ ඔස්ට්‍රේලියානුවන්

පෙරලා ඔස්ට්‍රේලියාවේදීම පරාජය කරන්නේ තමන්ගේ ආත්ම විශ්වාසයේ හා අධිෂ්ඨානයේ මහිමය ලෝකයටම පෙන්වමිනුයි. ඒ සදහා ඔවුන් යොදා ගන්නේ වසර කිහිපයකට පෙර කොදෙව්වන් ඔවුන් පීඩාවට පත්කරන්න යොදාගත් වේගපන්දුවමයි. එයින් නොනැවතී වසර පහළොවක් පුරා ක්‍රකට් ලෝකයේ අණසක පතුරුවන්න මේ ප්‍රබල කොදෙව් කණ්ඩායම සමත් වෙනවා.

Fire in Babylon කියන්නෙ ක්‍රිකට් කණ්ඩායමක් පිලිබද චිත්‍රපටියක් විතරක් නෙවේ. සමාජීයව, දේශපාලනිකව කොන් කෙරුනු සමාජයක නැගිටීම විදහා දක්වන කතා පුවතක්. සියළු බාධක බිදලා තමන්ගේ අරමුණ වෙනුවෙන් ගමන් කල, තමන්ගේ රට - ජාතිය වෙනුවෙන් සටන් කල වීරයන් පිරිසකගේ කතන්දරයක්. ඔවුන්ගේ ජයග්‍රහණ අප්‍රිකානුවන්ට ශක්තියක් වුනා. ඔවුන් කළු ජාතිකයන්ගේ නිදහස පිලිබද අළුත් බලාපොරොත්තු ජනිත කලා. මේ කතා පුවත සුවිශේෂී වෙන්නෙ මේ පසුබ්ම් කාරණා හින්ද කියලයි බැචාට හිතෙන්නෙ.

අනෙක් එක එදා කොදෙව්වොන්ගෙයි අද ලාංකිකයන්ගෙයි ලොකු වෙනසක් නෑ කියලත් බැචාට හිතෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවමත් ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් විදිහට ගණන් ගැනෙන්නේ නැහැ. විශේෂයෙන් මුරලිගෙ ඉවත්ව යෑමෙන් පසුව. ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද තියෙන්නේ හැත්තෑව දශකයේ මුල බාගයේ කොදෙව්වොන්ට තිබ්බ පිලිගැනීමට සමාන පිලිගැනීමක්. හැත්තෑව දශකයේ කොදෙව්වන්ව හැදින්වුනේ විනෝදාස්වාදය සපයන්නන් පිරිසක්(Calypso Cricketers) හැටියටයි. පන්දුවාර 50 තරග මුල් කරගෙන හැදුනු ලංකා ක්‍රිකට් පිලේ ප්‍රතිරූපයත් ඊට යම්තාක් දුරට සමානයි. ලංකාව ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයෙක් බවට පත්වෙන්න නම් එදා කොදෙව්වන්
සිදුකරගත් පරිවර්තනය ලංකාව තුල අද සිදුවෙන්න ඕන කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පරිපාලනයක් සහ ධනාත්මක මානසිකත්වයක් සහිත ක්‍රීඩකයන් පිරිසක් මේ මොහොතෙ රටට අත්‍යවශ්‍යයි කියලයි බැචාට හිතෙන්නෙ.

අනෙක් අතට එදා කළු ජාතිකයන් ලෝකය තුල මුහුණ දුන්න අභියෝගයට සමාන අභියෝගයක් අද ලාංකීය ද්‍රවිඩ ජනයා ඉදිරියේ තියෙනවා. අවුරුදු තිහක යුද්ධයකට පස්සේ බහුතර සිංහල ජනයා ඔවුන් දිහා බලන්නේ සැකයකින්. ඔවුන් රට ඇතුලෙ තවමත් ජීවත් වෙන්නෙ චකිතයකින්. යුරෝපය මීට දශක පහකට කලින් පසුකල සංක්‍රාන්ති සමය ලංකාව පසුකරන්නේ දැන් කියලයි බැචාට හිතෙන්නෙ. රට ඇතුලෙ දළු ලන ජාතිවාදයේ ගිනිපුපුරු සදහටම නිවා දමන්න ක්‍රිකට් ක්‍රීඩාව හොද මෙවලමක් කියලත් බැචාට හිතෙනවා. දශක තුනකට කලින් කොදෙව් දූපත් වලින් බිහිවී ලෝකයම හෙල්ලූ ඒ වේගපන්දු යවන්නන්, හෙට දිනයේ උතුරු-නැගෙනහිරින් බිහිවෙනවා නම්, ජාතික සමගිය නංවන්නට එයටත් වඩා හොද විසදුමක් තියෙන්න පුළුවන්ද?

Sunday, June 19, 2011

ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි

සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්‍රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්‍රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි.


විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)


උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්‍රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ.


මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?


දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද?

Saturday, April 30, 2011

බැං කිං මූන් එල්ලා මරමු (ද?)!!!

යුධ අපරාධ ගැන ආයෙත් කතා කරන්න පටන් අරං. අපේ රටේ කාටවත් ප්‍රශ්නයක් නොවිච්ච යුධ අපරාධ , ජාත්‍යන්තරයට මෙචචර ප්‍රශ්නයක් උණේ කොහොමද කියන එක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි ඔය කියන අපරාධ සිංහල මිනිස්සුන්ට එරෙහිව සිද්ධ උණානං, අපේ මිනිස්සු කටවහං ඉදීද කියන ප්‍රශ්නෙ බැචාට තියෙනවා. මොනව උණත්,live @ 8 එකෙන් පෙන්නපු ලස්සන දර්ශන ටික හැරුණම යුද්ෆධදි උණේ මොනවද කියල අපි කවුරුත් දැක්කෙ නෑ. ඉතිං ඒ ගැන හරි නිගමනයකට එන්න මේ රටේ කිසිම මිනිහෙක්ට පුළුවන් කමකුත් නෑ. හැබැයි, එහෙම දෙයක් වෙලා තියෙනවනං මොන තත්වයක් යටතේ වුණත් ඒක සාධාරණියකරණය කරන්න යන එක මිනිසත්කමට නිගා දෙන වැඩක් කියලයි බැචා හිතන්නේ. මොකද එතන හිරවෙලා හිටියෙත් බැචාලා, බැචීලා වගේ සාමාන්‍ය ගෑණු, මිනිස්සු.බැචාගේ ලිපියේ අරමුණ ඒ ගැන නිගමන ඉදිරිපත් කරන එක නෙවේ. බැචාට හිතුණු, ගොඩදෙනෙක්ට නොහිතුණු යමක් ගැන කතා කරන්නයි.

බෑන් කීන් මූන් මහත්තයගෙ වාර්තාවෙන් රට ඇතුලෙ වැඩිම දේශපාලන වාසියක්  අත්වෙන්නෙ කාටද?UNP එකටද? JVP එකටද? නැත්තන් දෙමළ සංවිධානයටද? බැචාට නං හිතෙන්නෙ ඒ කාටවත් වඩා වාසියක් මහින්ද මහත්තයට අයිති වෙනවා කියලයි. සෑහෙන කාලයක් යුධ ජයග්‍රහණත් එක්ක මහින්ද මහත්තයා ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ දේශපාලන වීරයා විදිහට වැජඹුණා. ඒත් එන්න එන්න, ඒ ජනප්‍රසාදයේ අඩුවීමක් මිස වැඩිවීමක් තිබ්බෙ නෑ. මේකට හේතුව අනෙක් හැම ගින්නටම වඩා ලොකු කුසගින්න වෙන්න පුළුවන්. තව හේතුත් තියෙන්න ඇති.

මිනිස්සුන්ගේ මූලික ගති ලක්ෂණයක් තමා කාණ්ඩ ගැහෙන එක. ඒ හැම කාණ්ඩෙකටම වඩා ප්‍රබලයි ජාතික පදනමෙන්(රටවල් විදිහට) කාණ්ඩ ගැහෙන එක. මොකද, භූ ගෝලීය සාධකත් කාණ්ඩ ගැහිල්ලට උදව්වක් වෙන හින්දා. ඕනම මිනිහෙක් තමන්ගේ කාණ්ඩෙට තර්ජනයක් ආවහම, තමන්ට තර්ජනයක් ආවට නොදෙවෙනි විදිහට කටයුතු කරනවා. ඒකයි මිනිස් ස්වභාවය*. මහින්ද මහත්තයා යුද්ධය පුරාවට පාවිච්චියට ගත්තෙත් ඔය සංසිද්ධියම තමයි. හරි උනත්, වැරදි උනත් තමන්ගේ ජාතියට ප්‍රශ්නයක් තියෙනවනං,රාජ්‍යයට ප්‍රශ්නයක් තියෙනවනං, මිනිස්සු තමන්ගේ රාජ්‍යයේ පැත්ත ගන්න එක සාමාන්‍ය දෙයක්. මැතිවරණ කාලෙ පුරාවට මහින්ද මහත්තයා පෙනී හිටියෙ ලංකා රාජ්‍යයේ භෘරකාරයා විදිහට. ඉතිං 60% + ඡන්ද හම්බ වුන එකේ පුදුමයක් නෑ(රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ඇති වෙනස අපේ මිනිස්සුන්ට නොතේරීම වෙනමම කතා කල යුතු ප්‍රශ්නයකි).

නමුත් දැන් තත්වෙ වෙනස්. LTTE සංහාරයෙන් පස්සේ  'ලංකා රාජ්‍යය‍ට' කලින් තිබ්බ වගේ මහ විශාල තර්ජනයක් නෑ. මිනිස්සුන්ට කලින් තිබ්බ උත්තේජකය නැති වෙලා. ඒ හින්ද තමයි ටිකින් ටික බඩගින්නේ, විරුකි‍යාවේ වේදනාවල් දැනෙන්න පටන් ගන්නෙ. ඉතිං මේ වගේ වෙලාවක බූන් මහත්තයා කරල දීල තියෙන්නේ කියලවත් කරගන්න අමාරු වැඩක්. ආයෙ පාරක් යුධ අපරාධ ගැන කතා කරන්න පටන් අරං. දැන් ආයෙත් පාරක් ලංකා ආණ්ඩුව රටට තර්ජනයක් තියනවා කියලා වමාර වමාර කියන්න පටන් අරං. විවිධ හේතු නිසා ආණ්ඩුවෙන් වෙන්වෙලා හිටපු ජනතාව ආයෙ පාරක් 'කාණ්ඩ ගස්සන්න'රජය මේ දවස්වල කැත උත්සාහක යෙදෙනවත් බැචාට පේනවා. (මහනුවර/කොළඹ නගර සභා මැතිවරණ ලගදීම තියන්නත් බැරිකමකුත් නෑ දැන්). ඒ උත්සාහය අනිවාර්යයෙන් සාර්ථක වෙනවාටත් කිසි සැකයක් නෑ. ඉතිං, බැන් කීන් මූන් මහින්ද මහත්තයට දේශීය දේශපාලන කරලියේ සෙල්ලම් කරන්න තවත් අවස්ථාවක් දීල කියන එක ඇත්තක් නෙවේද?

බැචා මේ කතා කරන්නෙ ප්‍රශ්නයේ එක පැති කඩක් ගැන විතරයි. තවත් පැති ගොඩක් තියෙනවා. නමුත් ඇත්තටම එහෙම වැරැද්දක් වෙලා තියෙනවනං, ඒ වැරදිකාරයෝ  දේශීය අධිකරණය ඉස්සරහට පමුණුවලා නිසි දඩුවම් දෙන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. ගිය අවුරුද්දේ පේරාදෙණිය‍ට ආපු S.B මහත්තයට ශිෂ්‍යයෝ ගල් ගැහුවා කියලා ඒ ශිෂ්‍යයන්ව හිරේ දැම්මා. එතකොට ඒ ශිෂ්‍යයන්ව නිදහස් කරන්න කියලා සමහර බැචාලා 'අරගල' කරා. සාධාරණ දඩුවමකට එරෙහිව එහෙම බැචාලා පාරට බැහැපු එක වැරදියි කියලා සමහරු බණ කිව්වා. එහෙම බණ කියපු අයම, සාධාරණත්වය වෙනුවෙන් යුද්දෙදි වැරදි කරපු අය ගැන කතා නොකරන එක කොච්චර උපහාසාත්මකද?

*වැඩි විස්තර සදහා මහාචාර්ය ඩෙස්මන් මොරිස්ගේ 'නිරුවත් වානරයා' කියවන්න


Thursday, April 14, 2011

IPL, බැචා සහ ස්වයංවින්දනය

සෑහෙන කාලෙකට පස්සේ බැචාට ලිපියක් ලියන්න හිතුනෙ සෑහෙන කාලෙකට පස්සෙ පුංචි නිවාඩුවක් ලැබුන හින්දයි. Mid එක අස්සේ එහෙන් මෙහෙන් කොහොමහරි ලෝක කුසලාන තරග බැලුව බැචා, IPL බලන්න ඉදගත්තේ සෑහෙන හිත සැහැල්ලුවකින්. ඒත් බැචාට තවත් ප්‍රශ්නයක්!


ඉස්සර තිබ්බ ආකර්ෂණය, අපූර්වත්වය තව දුරටත් ඒකේ තියෙනවා බැචාට පෙනුනෙ නෑ. එක අතකින් කණ්ඩායම් ඔක්කොම කලවම් කරලා. අනෙක් අතට ලෝක කුසලාන තරග වල තිබ්බ ජීවය, තරගකාරී බව IPL එකේ බැචා නම් දැක්කේ නෑ. එක අතකට IPL කියන්නේ නිකම්ම නිකං සැණකෙළියක් විතරයි. සැණකෙළිය තියෙනකන් සතුටු වෙනවා, නටනවා , ගයනවා. හැබැයි සැණකෙළිය ඉවර උනාම එහෙම එකක් තිබ්බද කියලවත් මතක නෑ. හොදම උදාරහරණය සනත්. සනත් පලවෙනි IPL තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සෑහෙන දස්කම් දැක්වුවා. ඒත් දැන් සනත් හිටියද කියලවත් කාටවත් මතක නෑ. දැන් සනනත්ගේ භූමිකාව ඉන්දීය ප්‍රේක්ෂකයන් පිනවන්න ඔට්ටු අල්ලලා නටන එක විතරයි.


හයේ පාරක්, හතරෙ පාරක් ගහන එක බැචාලට ආස්වාදයක්. එහෙම වෙන්න හේතුව ඒක විරල සිද්ධියක් හින්දයි. හැබැයි හැම බෝලෙටම හතරේ හයේ ඒව ගහද්දිත් ඒකේ තියෙන අපූර්වත්වයක් නෑ. හැම දාම නත්තල් නෑ කියලා කතාවක් තියෙනවනෙ. හැබැයි හැමදාම නත්තල් තිබ්බොත් නත්තලේ තියෙන විශේෂත්වය නැතිවෙකවා. ඒ ධර්මතාවය ක්‍රිකට් වලටත් පොදුයි. ඒ හින්ද වෙන්න ඇති බැචාට IPL බලන්න කම්මැලි හිතිල ඇත්තේ.


IPL හින්ද රටක් විදිහට අපි ලබපු දෙයක් නෑ කියලත් බැචාට හිතෙනවා. ඉන්දියාව IPL හින්ද කමන්ගේ අළුත් ක්‍රීඩකයන් හදුනගත්තා. අනෙක් රටවල ක්‍රීඩකයන් අධ්‍යයනය කරා. ඒත් අපි? දැනටමත් ප්‍රකෝටිපතියන් වෙච්ච අපේ ක්‍රීඩකයෝ තවත ධනවත් කරා. අපේ ක්‍රිකට් රහස් ඉන්දියාවට හෙලිදරව් කරා. හොදට සෙල්ලම් කර කර හිටපු ක්‍රීඩකයන් ආබාධයන්ට ලක් කෙරෙව්වා. එංගලන්තෙ තරග සංචාරයක් අහිමි කරගත්තා. එච්චරද???


බැචාට IPL ගැන අර්ථකථන දෙකක් තියෙනවා. ඒ අර්ථකථන දෙක දාලා ලිපිය ඉවර කරන්නයි හිතුවේ.


1. IPL යනු ස්වයංවින්දනයට සමාන ක්‍රියාවලියකි. සුරාන්තයට ලංවන තුරු යම් රසයක් තිබිය හැකි නමුදු සුරාන්තයෙන් පසු මෙලෝ වැදගම්මක් නැත. වැඩිපුර යෙදීම ශරීරයට අහිතකර විය හැක.


2. IPL යනු ක්‍රිකට් ලෝකයේ පාලනය නතු කර ගැනුමට ඉන්දියාව යෙදූ නව-යටත්විජිතවාදී උපක්‍රමයකි. මුදල් බලයෙන් රටවල්වල ජාතික සම්පත් අත්පත් කරගනිමින් පමණක් නොව "රට" වෙනුවට "මුදල" ප්‍රමුඛ කරවීමේද ඔවුහු නියතව සිටිති. යම් සාර්ථකත්වයක්ද මේවන විට ලබා ඇත. උදා පොලාඩ් (මීලග උදාහරණය මාලිංග විය හැක(?))


මොනව උනත් අපේ ක්‍රීඩකයෝ සල්ලි වලට ස්වයංවින්දනය කරන එක නවත්තලා රට ගැන හිතලා රට වෙනුවෙන් තීරණ ගත්තොත් හොදයි කියලයි බැචාට නම් හිතෙන්නේ...

Tuesday, February 1, 2011

කැම්පස් අද නොවේ හෙට !!!

ලංකාවේ තරුණයන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ අධ්‍යාපනය ගැන තියෙන ප්‍රශ්නකාරී තත්වය කියලයි බැචාට හිතෙන්නේ. අද බැචා හදන්නේ ඒ ප්‍රශ්නෙ එක පැතිකඩක් ගැන කතා කරන්නයි. අපේ රටේ මුළු අධ්‍යාපන පද්ධතියම මහා කටු අකුලක හිරවෙලා. එක පැත්තකින් ඇති නොවියු යුතු විදිහේ තරගයක්. අනෙක් පැත්තෙන් අධ්‍යාපනයේ ගුණත්වය පිලිබද බරපතල ප්‍රශ්නයක්.

අද උසස් අධ්‍යාපන ආයතන වල ඉන්නේ ඒ තැන් වල ඇත්තටම සිටිය යුත්තන් නෙවේ කියලයි බැචාට හිතෙන්නේ. අපේ රටේ මිනිස්සු අතර පිලිගැනීමක් තියෙනවා ඉංජිනේරුවන්, දොස්තරවරුන්, නීතිඥයන් කියන්නෙ “වැදගත්” වෘත්තියක් කියලා. හැම වෙලේම නොවුනත් සාපේක්ෂව ලොකු ආදායමක් ලබන්න මේ වෘත්තිකයන්ට පුළුවන්. ඉතිං මේ රස්සාවල් පස්සෙ දුවන එක අද පරම්පරාවෙ සිහිනයක් වෙලා. ඒ සිහිනය සැබෑ කරගන්න ලැබෙන්නේ උසස් පෙල ඉහලින් සමත් වෙන “මීටර්” වලට සහ “මෝටර්” වලට විතරයි.

අද ඉංජිනේරුවන් වෙන්නේ ඇත්තටම ඒ ක්ෂේත්‍රයේ හැකියාවන් තියෙන අයද? රටට වැඩක් කරන්න, අළුත් යමක් ඉගෙනගන්න ඇත්තම අවශ්‍යතාවක් තියෙන අයද? දොස්තරලා වෙන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න ඇත්තටම උවමනාව තියෙන අයද? ඔය හැම ප්‍රශ්නෙටම උත්තරේ “නෑ” කියලයි බැචාට නම් හිතෙන්නෙ. මේකෙ ප්‍රතිළුලයක් විදිහට තමයි සල්ලි පස්සෙ දුවන පෙරකදෝරු මහත්තුරු බිහිවෙලා ඉන්නේ. ලෙඩ්ඩු මැරුණත් strike කරන, ලෙඩ්ඩු දාලා පෞද්ගලික රෝහල් පස්සෙ දුවන දොස්තරල බිහිවෙලා ඉන්නේ. අද සමහර දොස්තරලා දිහා බැලුවම එයාල මිනිස්සුද නැත්තං යන්ත්‍රද කියන ප්‍රශ්නෙ බැචාට ඇතිවෙනවා. ලෙඩෙක් ගැන තියෙන්න ඕන සංවේදිකම, අනුකම්පාව බිංදුවක්වත් නැති දොස්තරලා බැචානං ඕන තරං දැකල තියෙනවා. කොමිස් එක‍ට තියෙන කෑදරකමට එක එක ඖෂධ සමාගම් වල බෙහෙත් අත්හදා බලන්න අසරණ රෝගීන් යොදාගන්න එකත් සෑහෙන්න සුලභ දෙයක්(ඒ ගැන වෙනමම කතා කල යුතුයි.)

මේ මාතෘකාව ගැන ලියන්න බැචාට හිතුනේ පොඩි අත්දැකීමක් හින්දා. බැචා‍ගේ ඉස්කොලේ සෑහෙන්න පරිගණක දැනුමක් තිබ්බ යාලුවෙක් හිටයා. ඉස්කෝලෙ ඕන වැඩක ඒ අංශයට දායකත්වය ලැබුනෙ ඒ යාලුවගෙන් තමයි. එයාගෙ අරමුණ තිබ්බෙත් කවදහරි පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න. හැබැයි ඒ හීනය හැබෑ කරගන්න උසස් පෙල විභාගය බාධාවක් උනා. දෙපාරක් උසස් පෙල කලත් එතැනට ලං වෙන්න පුළුවන් උනේ නැහැ. ඒකට හේතුව පරිගණක අංශෙට තිබ්බ හැකියාව රසායන විද්‍යාවට නොතිබුණ හින්ද වෙන්න ඇති. ඉතිං කොච්චර ආසාවක් තිබුණත්, දස්කමක් තිබුණත් තමන් ඉන්න ඕන තැන අධි තරගකාරී උසස් පෙල විභාගය හින්ද ඔහුට අහිමි උනා.

මෙතනදි තව එකතු කිරීමක් කරන්න ඕන. උසස් පෙල කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් පැය දෙකක් ඇතුලදී පරීක්ෂා කිරීමක්. මේක කෙනෙක්ගෙ දක්ෂතාව අගයන්න පුළුවන් හොදම ක්‍රමය නෙවේ කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් තමන් කරන්න ඉන්න ක්ෂේත්‍රයට කොහෙත්ම අදාල නැති විෂයයන්ට උසස් පෙලදි මුහුණ දෙන්න වෙන හින්දා. උදාහරණයකට, දොස්තර මහත්තයකුට භෞතික විද්‍යාවේ තියෙන වැදගත්කම මොකක්ද කියලා බැචාට තේරුම් ගන්න අමාරුයි. හැබැයි දොස්තර කෙනෙක් වෙන්න උසස් පෙලට භෞතික විද්‍යාව අනිවාර්යයෙන් කරන්නම ඕන.

අනෙක් කාරණය, ක්ෂණිකව හිතන්න බැරි සමහරුන් දිගු වෙලාවක් හිතල වඩා නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරනවා. උසස් පෙලදී ඒ වගේ ශිෂ්‍යයන් අහකට දානව කියලත් අමතක කරන්න බැහැ. පස්සේ කාලෙක ලෝක පූජිතයන් වුණු ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන් වගේ පුද්ගලයන් සියල්ල සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම වලින් ප්‍රතික්ෂේප වුන පුද්ගලයන් කියන එකත් බැචා මතක් කරන්න කැමතියි.

මොනව උනත් උසස් අධ්‍යපන ක්ෂේත්‍ර වලට ඒ අංශ පිලිබද විශේෂීය හැකියාවක් තියෙන අයටත් යන්න පුළුවන්නම් ඒක ඒ ක්ෂේත්‍රයේ දියුණුවට විතරක් නෙවේ, රටේ සේවාවල ගුණත්වය ඉහල නංවන්නත් හේතුවක් වේවි. ජීවිතේට කුඹුරකට නොබැහැපු කෘෂිකර්ම නිලධාරීන් බිහිවෙන එක වෙනුවට ඒ ගැන අත්දැකීම් තියෙන නිලධාරීන් බිහිවෙනවනං ඒක ක්ෂේත්‍රයේ උන්නතියට හේතුවක් වෙන්නෙ නැද්ද?

ඉතිං ලංකාවේ උසස් අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් වෙන්න ඕන කියලයි බැචාට හිතෙන්නෙ. රස්සාවල් වලට මිනිස්සු දීලා තියෙන වටිනාකම් වෙනස් කරන්න පුළුවන්නං මේ තත්වය ඇති වෙන්නෙ නෑ. නමුත් ඒ තත්වය එක රැයකින් ඇති කරන්න බෑ. ඒකට තියෙන හොදම විකල්පය විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කරගන්න විකල්ප ක්‍රම/විභාග හදුන්වා දීම කියලයි බැචාට හිතෙන්නේ. මේක තමයි බැචාගේ ස්ථාවරය. පෞද්ගලික අධ්‍යාපන ආයතන තව විසදුමක් වෙන්න පුළුවන්. මොනව උනත් උසස් පෙලට දීලා තියෙන අධිවටිනාකම ඉවත් වෙන්න ඕන කියල බැචා තරයේ විශ්වාස කරනවා.

කැම්පස් එන එක යුද්ධයක්. ඒ යුද්ධය ජයගත්ත සමහරු තමන් එක්ක එකට යුධ වැදපු තමුන්ගේ සහෘදයන් අමතක කරන්න තරම් කුහක වෙනවා. හැබැයි රටට අනාගතයක් තියෙන්නේ ඔවුනටත් අනාගතයක් තිබ්බොත් විතරයි කියලයි බැචාට හිතෙන්නේ. ඒ අනාගතය උදා කරන්න දැන්වත් බලධාරීන් කටයුතු කරනවනං, තවමත් ඒකට පරක්කු නෑ කියලත් බැචාට හිතෙනවා...


Monday, January 24, 2011

බැචා දුටු වැලන්ටයින්

වැලන්ටයින් දිනය; එකෝමත් එක රටක ආදරවන්තයන් වෙනුවෙන් පෙනීහිටපු ශාන්ත වැලන්ටයින් සාන්‍තුවරයා සිහිපත් කරන දවස. ආදරවන්තයන්ට රිසි සේ ආදරය කරන්න, සෙනෙහස පුදන්න වෙන්කරපු දවස. 

බැචා වැලන්ටයින් දවස ගැන ලියන්න හිතුවා. ලියන්න කලින් ලියන දේ ගැන දැනන් ඉන්න ඕන හින්ද බැචා ශාන්ත වැලන්ටයින් ගැන පොඩ්ඩක් හොයලත් බැලුවා. එහෙම හෙව්වම බැචාට තේරුම්ගියා ශාන්ත වැලන්ටයින් කියල එක සාන්තුවරයෙක් ගැන හරියට විස්තරයක් නෑ කියල. ඒ ගැන පසුවට. ඔක්කොටම වඩා වැදගත් වෙන්නෙ වැලන්ටයින් සංකල්පය කියලයි බැචාට හිතෙන්නෙ.කොහොම කොහොම හරි වැලන්ටයින් දවස අද කාලයේ පාවිච්චි වෙන්නේ ඔය කියන උතුම් අරමුණින් නෙවේ කියලත් බැචාට හිතෙනවා.

නමුත් ලංකාවේ අද තියෙන තත්වයේ හැටියට වැලන්ටයින් දවසේ හරි අරුත ගොඩක්ම ගැලපෙන්නේ ලංකාවටමයි. නිදහසේ ආදරය කරන එක ගැන අපි මහ ලොකුවට කතා කරාට අද ලංකා‍වේ ආදරවන්තයන්ගේ තත්වය ගොඩක් සෝචනීයයි. ආදරවන්තයන් දෙන්නෙක් අතින් අල්ලන් යන එක, වැළදගන්න එක, සිපගන්න එක බොහොම සාමාන්‍ය දේවල් (කරපු අය දන්නවත් ඇතිනෙ). ඒවා ආදරය ප්‍රකාශ කරන බොහොම සංවේදී ක්‍රම. නමුත් අවාසනාවකට මේ හැම දෙයක්ම එක පාරටම සමහරුන්ට කුණුහරුප බවට පත්වෙලා. අද පෙම්වතුන්ට හම්බවෙන්න, කතාකරන්න, පෙම්කරන්න හරි හමන් තැනක් ලංකාවෙ නැහැ. ඒකට හේතුව මේ දේවල් ගැන ලංකාවෙ මිනිස්සු විපරිත විදිහට බලන එක කියලයි බැචාට තේරෙන්නෙ.

ඉතිං ඒ සදහා ඔවුන්ට ඉතුරුවෙලා තියෙන්නේ ගාල්ල කොටුව, පේරාදෙණිය මල්වත්ත, විහාරමහාදේවී උද්‍යාන වගේ තැන් දෙක තුනක් විතරයි. ඒ තැන්වලත් ටිකක් වැඩියෙන් ලංවෙලා හිටියොත් ‘විසිල්’ පාර හම්බෙනව කියලා ගිහින් අත්දැකීම් තියෙන අය දන්නව ඇති. ගාල්ල කොටුවට එන පෙම්වතුන් පොලීසිය ගාල් කරන් එලියට දක්කන්නේ හරියට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෝ පිරිසක් කොටුවුනා වගෙයි. නුවර වැව රවුමෙ තත්වයත් ඔයිට දෙවෙනි නෑ. පෙම්වතුන්ගේ අම්මලා තාත්තලාටත් නැති කැක්කුමක් පොලිස් ‘මාමලාට’ තියෙන්නේ තරුණ පරම්පරාවගැන ඒ මාමාලාට තියෙන ආදරේ හින්දමයි කියලා බැචාටනම් කිසිම සැකයක් නෑ.

මොනව උනත් ලංකාවේ තරුණයන්ට ලිංගකත්වය, ආදරය ගැන දාලා තියෙන සීමා එයාලගේ තරුණ අසහනය වැඩි කරන්න හේතුවක්. සමහර පොදු තැන්වල තරුණ තරුණියෝ නුසුදුසු විදිහට හැසිරෙනවනන් ඒකට හේතුවත් එයාලට ඒ දේවල් පෞද්ගලිකව කරන්න පුළුවන් වාතාවරණයක් නැති හින්ද කියලයි බැචාට හිතෙන්නෙ. බොහොම අහිංසක විදිහට හැගීම් හුවමාරුකරගන්න එකත් නවත්තන එක ස්ත්‍රීදූෂකයන්, ලිංගික පරපීඩකයන් නිර්මාණය වෙන තත්වයක් බවටත් වර්ධනය වෙන්න පුළුවන්. මෑතකාලයේ සීඝ්‍රව පැතිරුන කාම රැල්ලට (mobile phone sex videos) ප්‍රධාන හේතුවක් මේ ලිංගික පීඩනය කියලයි බැචා හිතන්නේ.ඉතිං ඒ දෙවල් වල වගකීම බාරගන්න ඕන එයාලව ඒ තත්වයට තල්ලුකරලා දාපු පිරිසමයි.  මේවට විසදුම ‘porn starsලගේ පිංතූර’ කියල අහිංසක ගෑනු ළමයිගේ පිංතූර පත්තර වල පලකරන එක නෙවෙයි කියලයි බැචාට හිතෙන්නේ. ඒක අතුරු කතාවක්.

තනිකඩයෙක් කිසිදා නොදකින Lovers' Lane© pamila75 
කොහොම හරි මේ දේවල් සම්භන්දෙන්නන් විශ්ව විද්‍යාල ඇතුලෙ සෑහෙන සුභවාදී ආකල්පයක් තියෙනව කියල බැචා කියන්නෙ ආඩම්බරෙන්.  පිට මිනිස්සු වගේ ජෝඩුවක් දැක්කම හූ කියන, විසිල් ගහන, ඒ දිහා කන්න වගේ බලන් ඉන්න සිරිතක් කැම්පස් ඇතුලෙ නැහැ. ආදරයකරන එක අයිතියක්. ඒ අයිතිය ඇතුලෙ ඉන්න හැමෝම පිලිගන්නවා. විශ්ව විද්‍යාල ‘කුඩ’ සංස්කෘතිය මේකට හොද උදාහරණයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වෙච්ච වෙනම කලාපයක් තියෙනවා (Lover’s Lane). මේ කාරණය හැම විශ්ව විද්‍යාලයක ඒ විදිහටම පැතිරිලා ගිහින් තියෙනවා. ඒ හැම දේටම වඩා වටින්නේ ආදරවන්තයන් ගැන විශ්ව විද්‍යාල වල තියෙන විවෘත ආකල්පයයි. ඒ තත්වය තාම බාහිර සමාජයේ නැති එක ගැන ඇත්තටම බැචාට දුකයි.

මොනව උනත් අද තියෙන්නේ සෑහෙන්න වාණිජකරණය වෙච්ච වැලන්වයින් දිනයක්. වැලන්ටයින් දිනය සමරන පෙම්වතුන් තමන් ගැන හිත හිත බොරු පුරාජේරු වැඩකරනව මිසක් වැලන්ටයින් සංකල්පය තේරුම් ගන්න උත්සාහ කරනව කියල පේන්නෙ නෑ. වෙළද සමාගම්, රූපවාහිනී නාලිකා පෙම්වතුන්ව වැලන්ටයින් උන්මාදයෙන් මත් කරල තමන්ගෙ සාක්කු පුරවගන්නව මිසක් කතා කරන්න ඕන දේවල් ගැන කතා කරන්නෙත් නෑ. පාටිදාන එක, මල් අරංදෙන එක, තෑගි දෙන එකට වඩා අර්ථවත් දෙයක් වැලන්ටයින් දවස ඇතුලෙ හැංගිල තියෙනව කියලයි බැචා හිතන්නෙ.

ඉතිං, ආදරවන්තයන් ගැන, ආදරය ගැන හරිවිදිහට බලන්න, ආදරය කියන්නේ හැගීමක් මිසක් අපරාදයක් නෙවේ කියල තේරුම්ගන්න දැන්වත් පාලකයන්ට, වැඩිහිටියන්ට පුළුවන්නම් ඒක සෑහෙන ලොකුදෙයක්. වැලන්ටයින් කියන්නේ තමන්ගේ හැගීම් තේරුම්ගන්න තියෙන අවස්ථාවක් මිසක් බාහිර ආටෝපයක් නෙවෙයි කියල ආදරවන්තයන් තේරුම් ගන්නවනනං ඒක ඊටත් වඩා වැදගත් කියලයි බැචාට නම් හිතෙන්නේ...

Sunday, January 16, 2011

බැචා සහ දිට්ඨධම්මවේදනීය කර්ම

බැචා දිට්ඨධම්මවේදනීය කර්ම ගැන විශ්වාස කරන්න තීරණය කරා ඊයෙ පෙරේද ඉදං. මේ සෙමෙස්ටර් එකේ කරපු අතොරක් නැති විරෝධතා, පංති වර්ජන හින්දද කොහෙද බැචාගේ විභාගෙ කෙල වෙලාම ගියා. ඒ අස්සේ සීයට අසූව කියල අලුත් නීතියක් ගෙනත්. ගතවෙච්ච සෙමෙස්ටර් එකේ එක එක වෙලාවල් වල එක එක පංති කට් කරේ අන්තිම සතියේ තියෙන කුප්පියේ පිහිටෙන් ගොඩ යන්න හිතාගෙන. ඒ හින්ද සීයට අසූව නැහැ කියලා සෑහෙන විරෝධයක් විශ්ව විද්‍යාලයෙන් ආවා. ඕනම ප්‍රශ්නයකින් ගොඩ එන්න විදිහකුත් තියෙන හින්ද හොර වෙද සහතික ටිකක පිහිටෙන් දෙයිනේ කියල විභාගෙ ලිව්වා. හැබැයි ඒකෙත් මහ ලොකු හොදක් වුනේ නැහැ.


ඉතිං මේ හැම දෙයක් අස්සෙම බැචාගේ හිතේ මේ ටිකේ තියෙන්නේ සෑහෙන කලකිරීමක් වගේම පසුතැවිල්ලක්. විශ්ව විද්‍යාලෙ කියන්නෙ ඉස්කෝලයක් නෙවේ ඊට වෙනස් තැනක් කියලා බැචාට ටික ටික තේරෙන්න පටන් ගත්තේ ලගක ඉදං. ඉස්කෝලෙ නම් මොනව කරත් හිටපු සර්ලා මිස්ලා අනුකම්පාවෙන් බැලුවා. කොහොම හරි උගන්නන්න ඕන ටික ඉගැන්නුවා. ඉස්කෝලේ වෙලාවෙ බැරිනම් නිවාඩු දවසක ගෙන්නලා හරි ඉගැන්නුවා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නෙ වෙනස් තැනක්. විශ්ව විද්‍යාලෙ කියන්නේ පන්න පන්න උගන්නන තැනක් නෙවේ. ඕනෙ නම් ඉගෙනගන්න පුළුවන් තැනක්. ඉස්කෝලෙ වගේ ඔළුව අත ගගා හුරතල් කිරිල්ලක් විශ්ව විද්‍යාලෙ නැහැ. අපි එක එක දේට පංති වර්ජන කරද්දි ඒවයේ පාඩුව අපිටම විද දරාගන්න ඉඩ දුන්නේ ඒ හින්ද වෙන්න ඇති. එක්කෙනෙක්වත් පංතියට ආවෙ නැත්තං නම් ලකුණු කරන්නේ නෑ; ඒ හින්ද සීයට අසූවට පාඩුවක් නෑ කියලා අපේ ජ්‍යෙෂ්ටයෝ(සින්නෝ) බණ කිව්වා. හැබැයි ඒවත් ගණං කරල තියෙනව කියල දැනගද්දී කට්ටියගෙම සීයට අසූව අඩු වෙලා ඉවරයි.


ඔය ප්‍රශ්නෙම රැග් සීසන් එකෙත් තියෙනවා. හොස්ටල් වල නවක වදේ දෙනකොට සමහර ගුරුවරු නොදැක්කා නෑහුනා වගේ ඉන්නවා. හොස්ටල් එකේම නවාතැන් ගත්ත ලෙචාලට මේක රහසක් වෙන්න හේතුවක් නෑ. නමුත් ඒවට කිසි මැදිහත්වීමක් වෙන්නෙ නැත්තෙ ඇයි කියල බැචාට ඒ කාලෙ ලොකු ප්‍රශ්නයක් (වගේම තරහක්) තිබ්බා. ඒක ටික ටික තේරෙන්නෙත් දැනුයි. විශ්ව විද්‍යාලෙ කියන්නෙ වැඩිහිටියන් අධ්‍යාපනය ලබන තැනක් මිසක් මොන්ටිසෝරියක් නෙවේ. ඉස්කෝලේ විදුහල්පති වේවැල අරන් ළමයි පස්සෙ පන්නනවා වගේ උපකුලපතිතුමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පන්නන සිරිතක් නැහැ (බැචීලගෙ කන්‍යාභාවය පිරික්සන උපකුලපතිවරුන් සිටීම වියතිරේක අවස්ථාවක් බව කරුණාවෙන් සලකන්න). විශ්ව විද්‍යාල වල පරිසරය තීරණය කරන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඔවුන්ගේ තේරීම කොච්චර පටු වුනත්, මිලේච්ඡ වුනත් අවශ්‍ය මගපෙන්වීමක් කරනවා විනා ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීම විශ්ව විද්‍යාල වල ස්වභාවයයි.


කොහොම කොහොම හරි අපිට ඉගෙන ගන්න නියමිතව තිබිච්ච ඇතැම් දේවල් අපේම වරදින් ඉගෙන ගන්න තිබ්බ අවස්ථාව අපිම අහිමි කරගත්තා. ඒකෙ බරපතල කම මේ විභාගෙදි අපි කාටවත් දැනුනෙ නෑ.  මොකද ඒ තත්වය අපි හැමෝටම පොදුවුන හින්දා. නමුත් ඉස්සරහ දේවල් ඉගෙන ගන්න අමාරු වෙනකොට, අතහැරුණු දේවල් වල අගය හැමෝටම වැටහෙනවට සැකයක් නෑ. අපි නොදන්න දේවල් කැළණියේ, කොළඹ කට්ටිය දැනගෙන අපි ටික ටික පස්සට යනඑකටත් කිසි සැකයක් නෑ. ඕකට තමයි දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ. ඕකට “ඉදිරිය නොපෙනීම“ කියල කියන්නත් බැරිකමක් නෑ.


මොනව උනත් ඉස්සරහ සෙමෙස්ටර් එකවත් හොදට කරන්න තමයි බැචාගේ අරමුණ. බැචා ඉගෙන ගත්ත පාඩම් අනික් බැචාලත් ඉගෙන ගනිත්වා කියලා බැචා ප්‍රාර්ථනා කරන්නේ ඕක බැචාට විතරක් තේරිලා කිසිම වැඩක් නැති හින්දයි. ඒකටත් දිට්ඨධම්මවේදනීය කර්ම කියන්න පුළුවන්ද මන්දා..

Tuesday, January 11, 2011

උප සංස්කෘතියක 'ලොකු' කළු පැල්ලම


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දියාවේ නවකවදය දෙන්නේ මෙහෙම(ලු)
මිනිසෙක් මිනිසෙක් වෙන්නේ කකුල් දෙකක්, පපුවක් හා ඔළුවක් තිබෙන හින්දම නෙවේ. ඒ කකුල් දෙකයි ඔළුවයි අතර තියෙන පපුව මැද හදවතක් තිබෙන නිසයි. මිනිසත්කම ඕපපාතිකව මිනිස්සු අතර ඇති වුණ දෙයක් නෙවේ. සියවස් ගණනාවක්, පරම්පරා ගණනන මිනිසුන් විදි අත්දැකීම්, වේදනාවන්, හැගීම් වල ප්‍රතිළුලයක් විදිහට ඇතිවුනු සංකල්පයක්. ගල් යුගයේ ස්වාර්ථය පමණක්ම පැතූ ගල් වැද්දා සහ ශිෂ්ටාචාර ගත වෙච්ච වර්තමාන මිනිසා අතර තියෙන ප්‍රධාන කඩයිම් රේඛාවත් මිනිසත්කමමයි. ඒක හරියට ශිෂ්ටත්වයේ සංකේතය වගේ කිව්වොත් නිවැරදියි.

බැචා හිතන විදිහට මිනිස්සු කියන්නේ ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී වර්ගයක්. බලය කේන්ද්‍රකරගත්ත් ස්වාර්ථය පමණක් අරමුණු කරගන්න පෙලඹුමක් තියෙන පිරිසක්. හැබැයි ශිෂ්ටත්වයේ ක්‍රියාවලියත් එක්ක මේ ස්වභාවික පෙළඹීම් වලින් විතැන් වෙන්න මිනිස්සු තීරණය කරා. තමන්ට වගේම අනුන්ටත් යහපතක් කරන්න මේ ස්වභාවික අභිලාෂයන්ගෙන් ඉවත් වෙන්න ඕන කියන එක ශිෂ්ටත්වයේ පදනම වුනා. ලෝකයේ මෙතෙක් බිහිවෙලා තියෙන විශිෂ්ටතම දර්ශනය වන සමාජවාදයේත්, නිදහස්ම ආගම වන බුද්ධ ධර්මයේත්, සාර්ථකතම පාලන තන්ත්‍රය වන ප්‍රජාතන්ත්‍රවාදයේත් පදනම මේ සරල සංසිද්ධියයි.

නමුත් බලය අයුතු විදිහට හසුරවන්න පුළුවන් සුවිශේෂි අවස්ථා වලදී නැවතත් පරණ පුරුදු ස්වභාවික චර්යාවන්ට මිනිස්සු යොමුවෙනවා. තුන්වන ලෝකයේ දේශපාලකයන්ගේ හැසිරීම පැහැදිලි කරන්න පුළුවන් සරලතම ආකාරය මේකයි. ලංකාවේ, පකිස්ථානයේ, සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලකයන්ට තියෙන බලය සීමා රහිතයි. ඒ වගේ බලයක් අතට ලැබුනම සමාජයේ සම්මතයන්, ශිෂ්ටත්වයේ සීමාවන් ඔවුන්ට අමතක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වඩා දියුණු රටවල check and balancing සංකල්පය හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රවණතාව වලක්වන්නයි. මොනා උනත්, මේ විදිහේ අන්තනෝමතික හැසිරීම් ශිෂ්ට සමාජයක යහපැවැත්මට ඇති කරන ඍණ බලපෑම අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ.(ලංකාවේ වත්මන් තත්වය ගැන හිතල බලන්න කියලා බැචා විශේෂයෙන් ඉල්ලා සිටිනවා) ඒ වගේ තත්වයකදී සමාජය තුලින් ප්‍රතිවිරෝධී බලවේගයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වෙනවා විතරක් නෙවේ; සමාජයේ යහපැවැත්ම තීරනය කරන තීරක සාධකයකුත් වෙනවා.

නවකවදය‍; මේ ලිපියේ කේන්ද්‍රීය වචනය කරලියට එන්නෙත් මේ පසුබිම යටතෙයි. ලංකාවේ ඕනම ආයතනයක ජ්‍යෙෂ්ඨත්වයට වැදගත් තැනක් ලැබෙන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්කමයි. අධ්‍යාපන ආයතන සම්භන්දෙනුත් මේ තත්වය වලංගුයි. අනික් හැමතැනකදිම වගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා අධිආරෝපණය වෙච්ච බලය තමන්ගේ විකෘති ආශාවන් වෙනුවෙන් පාවිච්චි වීමකුයි නවක වදයෙදිත් සිද්ධ වෙන්නේ. නමුත් වැදගත්ම කාරණය මේ අයුතු බලය යොදවන්නේ විශ්ව විද්‍යාලය ගැන හව්හරණක්වත් නොදන්නා අසරණයන් පීඩාවට පත්කරන්න වීමයි. ඒ හන්දම ඒක වැදගත් වගේම ඛේදනීය කාරණයකුත් වෙනවා. විශ්ව විද්‍යාලයට තේරී පත්වන අතිමහත් බහුතරය සෑහෙන්න දුක්විදපු අහිංසක දෙමව්පියන්ගෙ දුවා දරුවෝ. ඔවුන් එන්නේ අළුත් පරිසරයකට. නන්නාදුනන නගරයකට. මේ හේතූන් වලට ඔවුන් ලක්වෙලා ඉන්න සමාජ පසුගාමීත්වයත් එකතු වුනාම, මුල්ම දිනයේ විශ්ව විද්‍යාලයට එන ඔවුන් තුල තියෙන්නේ බියක්; සැකයක්; දෙගිඩියාවක්.

මෙවන් පසුබිමක් තුල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන්න ඕන ඔවුන් ආදරයෙන් පිලිඅරන් ඒ පරිසරයට හැඩලස්වන එකයි. එහෙම කරන එක ඔවුන්ගේ යුතුකමයි. නමුත් අවාසනාවකට ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකෙ පරස්පරයයි. ඒ, තමන්ගේ සමාජීය, ආර්ථික, ලිංගික පීඩාවන් සන්තර්පණය කරගන්න නින්දිත විදිහට අළුත් ශිෂ්‍යයන් නවකවදයට (ශිෂ්‍ය අනුගතකරණ ක්‍රියාවලිය - අර්ථදැක්වීම අ.වි.වි.ශි.බ.ම) පත්කිරීමයි. ඔවුන් පත්වෙලා ඉන්න සුවිශේෂී අසරණ බව තමන්ගේ ජඩ ආසාවන් වලට බිල්ලට දීම මිලේච්ඡයි යන්න අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ක්‍රියාවලිය කුමන තත්ව යටතේ වුවත් අමානුෂිකයි යන්නයි බැචාගේ හැගීම. මොනව වුනත් මේ තත්වය තවත් බැරෑරුම් වෙන්නේ නවකවදය අස්සේ දීර්ඝකාලීන දේශලපාලන අරමුණකුත් හැංගිලා තියෙන හින්දයි. නවකවදයේ මානසික පැත්ත හා මේ මුළු ක්‍රියාවලිය ගැන ඉස්සරහදී විස්තර කරන්න බැචා සූදානම්. මේ ලිපිය ඒ සදහා ගන්න‍ා ප්‍රවේශයක් පමණයි.

නවකවදය පිලිබද සමාජය ඇත්තටම දැනුවත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව නවකවදය ලද්දෙකු ඒ පිලිබද සම්පූර්ණ විස්තරයක් සමාජයේ බාහිර කෙනෙක්ට කරන්න තියෙන අකමැත්තයි. (එහෙම අකමැත්තක් ඇතිවීම පුදුමයට කරුණක් නෙවේ). ‍

නවකවදය කෙසේ වෙතත්, ඊට සම්භන්ධ පසුබිම් කරුණු ගැන කතා කරන්නයි බැචාගේ ප්‍රයත්නය. නවකවදයේ පිහිටෙනු විශ්ව විද්‍යාලයේ පාලනය දේශපාලන කණ්ඩායම් අතට යන්නෙ කොහොමද, ඒ දේශලපාලන කණ්ඩායම් විශ්ව විද්‍යාලය ක්‍රියාදාම කඩාකප්පල් කරන්නෙ කොහොමද කියලා ඉස්සරහදි කතා කරමු. බැචාගේ මුල්ම ලිපිය අවසන් කරන්න කලින් පොඩි එකතු කිරීමක් කරන්න හිතුණා. ලංකාවේ නවකවදය අතුගාලා දාපු විශ්ව විද්‍යාල තියෙනවා. එහෙම පීඨත් තියෙනවා. කොළඹ විශ්ව විද්‍යාලය කියන්නේ එහෙම විශ්ව විද්‍යාලයක්. ඉතිං එහෙම තත්වයක් හැම තැනම ඇති කරන්න පුළුවන්නං මොනව නැතත් කොන්ද කෙලින් තියන් කැම්පස් යන්න පුළුවන් තත්වයත් හැමතැනකම ඇතිවෙයි කියලා බැචාට හිතෙනවා. ඉතිරිය පසුවට...

කෝලමක් නොවන බැචාගේ කොලම

බැචාගේ බැචාලා
බැචා කියන්නේ අවුරුදු දා හතරක් දහ දුක් විදලා දෙයියනේ කියලා යාන්තන් විස්ස විජ්ජාලෙට ගිය තවත් කොල්ලෙක්.


ඉතිං බැචත් කොලමක් ලියන්න හිතුවා. කැම්පස් ජීවිතේ ගැන, බැචාලා බැචීලා ගැන විතරක් නෙවේ විස්ස විජ්ජාලේ තියෙන නා නා ප්‍රකාර විජ්ජා ගැනත් ලියන්න බැචා හිතං ඉන්නවා. පහුගිය සතිදෙක තුනේ පත්තර කියවපු. ප්‍රවෘත්ති බලපු හැම දෙනාටම විස්ස විජ්ජාලෙ කිව්වම කෝලමක් මතක් වෙන තැනට මාධ්‍ය මහත්වරු පහුගිය ටිකේ කටයුතු කරලා තිබ්බා. නමුත් බැචාගේ කොලම කෝලමක් නොවන වග බැචාම කියන්නේ සෑහෙන වගකී‍මකින්.


බොහොම සරලයි කියල මතුපිටින් පේන්න පුළුවන්. හැබැයි මතුපිටින් පේන ඒ සරලත්වයට යටින් සෑහෙන්න ගැඹුරු අදහස් ගොන්නක් බැචාගේ කොලමේ ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා. බැචාගේ සමහර අදහස් රැඩිකල් වෙන්නත් පුළුවන්. ඒ අදහස් දැකල බැචාගේ බැචත්වය ගැන සමහරු ප්‍රශ්න කරන්නත් ඉඩ තියෙනවා. නමුත් බැචා ලියන්නේ නිදහස්ව...ස්වාධීනව!


ඒ හැම එකක් අතරෙම බැචාගේ කොලම කියවන හැමෝගෙම අදහස් දැනගන්නත් බැචා විවෘතව ඉන්නවා. එහෙනං අරඹමු බැචාගේ කොලම!