Monday, January 24, 2011

බැචා දුටු වැලන්ටයින්

වැලන්ටයින් දිනය; එකෝමත් එක රටක ආදරවන්තයන් වෙනුවෙන් පෙනීහිටපු ශාන්ත වැලන්ටයින් සාන්‍තුවරයා සිහිපත් කරන දවස. ආදරවන්තයන්ට රිසි සේ ආදරය කරන්න, සෙනෙහස පුදන්න වෙන්කරපු දවස. 

බැචා වැලන්ටයින් දවස ගැන ලියන්න හිතුවා. ලියන්න කලින් ලියන දේ ගැන දැනන් ඉන්න ඕන හින්ද බැචා ශාන්ත වැලන්ටයින් ගැන පොඩ්ඩක් හොයලත් බැලුවා. එහෙම හෙව්වම බැචාට තේරුම්ගියා ශාන්ත වැලන්ටයින් කියල එක සාන්තුවරයෙක් ගැන හරියට විස්තරයක් නෑ කියල. ඒ ගැන පසුවට. ඔක්කොටම වඩා වැදගත් වෙන්නෙ වැලන්ටයින් සංකල්පය කියලයි බැචාට හිතෙන්නෙ.කොහොම කොහොම හරි වැලන්ටයින් දවස අද කාලයේ පාවිච්චි වෙන්නේ ඔය කියන උතුම් අරමුණින් නෙවේ කියලත් බැචාට හිතෙනවා.

නමුත් ලංකාවේ අද තියෙන තත්වයේ හැටියට වැලන්ටයින් දවසේ හරි අරුත ගොඩක්ම ගැලපෙන්නේ ලංකාවටමයි. නිදහසේ ආදරය කරන එක ගැන අපි මහ ලොකුවට කතා කරාට අද ලංකා‍වේ ආදරවන්තයන්ගේ තත්වය ගොඩක් සෝචනීයයි. ආදරවන්තයන් දෙන්නෙක් අතින් අල්ලන් යන එක, වැළදගන්න එක, සිපගන්න එක බොහොම සාමාන්‍ය දේවල් (කරපු අය දන්නවත් ඇතිනෙ). ඒවා ආදරය ප්‍රකාශ කරන බොහොම සංවේදී ක්‍රම. නමුත් අවාසනාවකට මේ හැම දෙයක්ම එක පාරටම සමහරුන්ට කුණුහරුප බවට පත්වෙලා. අද පෙම්වතුන්ට හම්බවෙන්න, කතාකරන්න, පෙම්කරන්න හරි හමන් තැනක් ලංකාවෙ නැහැ. ඒකට හේතුව මේ දේවල් ගැන ලංකාවෙ මිනිස්සු විපරිත විදිහට බලන එක කියලයි බැචාට තේරෙන්නෙ.

ඉතිං ඒ සදහා ඔවුන්ට ඉතුරුවෙලා තියෙන්නේ ගාල්ල කොටුව, පේරාදෙණිය මල්වත්ත, විහාරමහාදේවී උද්‍යාන වගේ තැන් දෙක තුනක් විතරයි. ඒ තැන්වලත් ටිකක් වැඩියෙන් ලංවෙලා හිටියොත් ‘විසිල්’ පාර හම්බෙනව කියලා ගිහින් අත්දැකීම් තියෙන අය දන්නව ඇති. ගාල්ල කොටුවට එන පෙම්වතුන් පොලීසිය ගාල් කරන් එලියට දක්කන්නේ හරියට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෝ පිරිසක් කොටුවුනා වගෙයි. නුවර වැව රවුමෙ තත්වයත් ඔයිට දෙවෙනි නෑ. පෙම්වතුන්ගේ අම්මලා තාත්තලාටත් නැති කැක්කුමක් පොලිස් ‘මාමලාට’ තියෙන්නේ තරුණ පරම්පරාවගැන ඒ මාමාලාට තියෙන ආදරේ හින්දමයි කියලා බැචාටනම් කිසිම සැකයක් නෑ.

මොනව උනත් ලංකාවේ තරුණයන්ට ලිංගකත්වය, ආදරය ගැන දාලා තියෙන සීමා එයාලගේ තරුණ අසහනය වැඩි කරන්න හේතුවක්. සමහර පොදු තැන්වල තරුණ තරුණියෝ නුසුදුසු විදිහට හැසිරෙනවනන් ඒකට හේතුවත් එයාලට ඒ දේවල් පෞද්ගලිකව කරන්න පුළුවන් වාතාවරණයක් නැති හින්ද කියලයි බැචාට හිතෙන්නෙ. බොහොම අහිංසක විදිහට හැගීම් හුවමාරුකරගන්න එකත් නවත්තන එක ස්ත්‍රීදූෂකයන්, ලිංගික පරපීඩකයන් නිර්මාණය වෙන තත්වයක් බවටත් වර්ධනය වෙන්න පුළුවන්. මෑතකාලයේ සීඝ්‍රව පැතිරුන කාම රැල්ලට (mobile phone sex videos) ප්‍රධාන හේතුවක් මේ ලිංගික පීඩනය කියලයි බැචා හිතන්නේ.ඉතිං ඒ දෙවල් වල වගකීම බාරගන්න ඕන එයාලව ඒ තත්වයට තල්ලුකරලා දාපු පිරිසමයි.  මේවට විසදුම ‘porn starsලගේ පිංතූර’ කියල අහිංසක ගෑනු ළමයිගේ පිංතූර පත්තර වල පලකරන එක නෙවෙයි කියලයි බැචාට හිතෙන්නේ. ඒක අතුරු කතාවක්.

තනිකඩයෙක් කිසිදා නොදකින Lovers' Lane© pamila75 
කොහොම හරි මේ දේවල් සම්භන්දෙන්නන් විශ්ව විද්‍යාල ඇතුලෙ සෑහෙන සුභවාදී ආකල්පයක් තියෙනව කියල බැචා කියන්නෙ ආඩම්බරෙන්.  පිට මිනිස්සු වගේ ජෝඩුවක් දැක්කම හූ කියන, විසිල් ගහන, ඒ දිහා කන්න වගේ බලන් ඉන්න සිරිතක් කැම්පස් ඇතුලෙ නැහැ. ආදරයකරන එක අයිතියක්. ඒ අයිතිය ඇතුලෙ ඉන්න හැමෝම පිලිගන්නවා. විශ්ව විද්‍යාල ‘කුඩ’ සංස්කෘතිය මේකට හොද උදාහරණයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වෙච්ච වෙනම කලාපයක් තියෙනවා (Lover’s Lane). මේ කාරණය හැම විශ්ව විද්‍යාලයක ඒ විදිහටම පැතිරිලා ගිහින් තියෙනවා. ඒ හැම දේටම වඩා වටින්නේ ආදරවන්තයන් ගැන විශ්ව විද්‍යාල වල තියෙන විවෘත ආකල්පයයි. ඒ තත්වය තාම බාහිර සමාජයේ නැති එක ගැන ඇත්තටම බැචාට දුකයි.

මොනව උනත් අද තියෙන්නේ සෑහෙන්න වාණිජකරණය වෙච්ච වැලන්වයින් දිනයක්. වැලන්ටයින් දිනය සමරන පෙම්වතුන් තමන් ගැන හිත හිත බොරු පුරාජේරු වැඩකරනව මිසක් වැලන්ටයින් සංකල්පය තේරුම් ගන්න උත්සාහ කරනව කියල පේන්නෙ නෑ. වෙළද සමාගම්, රූපවාහිනී නාලිකා පෙම්වතුන්ව වැලන්ටයින් උන්මාදයෙන් මත් කරල තමන්ගෙ සාක්කු පුරවගන්නව මිසක් කතා කරන්න ඕන දේවල් ගැන කතා කරන්නෙත් නෑ. පාටිදාන එක, මල් අරංදෙන එක, තෑගි දෙන එකට වඩා අර්ථවත් දෙයක් වැලන්ටයින් දවස ඇතුලෙ හැංගිල තියෙනව කියලයි බැචා හිතන්නෙ.

ඉතිං, ආදරවන්තයන් ගැන, ආදරය ගැන හරිවිදිහට බලන්න, ආදරය කියන්නේ හැගීමක් මිසක් අපරාදයක් නෙවේ කියල තේරුම්ගන්න දැන්වත් පාලකයන්ට, වැඩිහිටියන්ට පුළුවන්නම් ඒක සෑහෙන ලොකුදෙයක්. වැලන්ටයින් කියන්නේ තමන්ගේ හැගීම් තේරුම්ගන්න තියෙන අවස්ථාවක් මිසක් බාහිර ආටෝපයක් නෙවෙයි කියල ආදරවන්තයන් තේරුම් ගන්නවනනං ඒක ඊටත් වඩා වැදගත් කියලයි බැචාට නම් හිතෙන්නේ...

Sunday, January 16, 2011

බැචා සහ දිට්ඨධම්මවේදනීය කර්ම

බැචා දිට්ඨධම්මවේදනීය කර්ම ගැන විශ්වාස කරන්න තීරණය කරා ඊයෙ පෙරේද ඉදං. මේ සෙමෙස්ටර් එකේ කරපු අතොරක් නැති විරෝධතා, පංති වර්ජන හින්දද කොහෙද බැචාගේ විභාගෙ කෙල වෙලාම ගියා. ඒ අස්සේ සීයට අසූව කියල අලුත් නීතියක් ගෙනත්. ගතවෙච්ච සෙමෙස්ටර් එකේ එක එක වෙලාවල් වල එක එක පංති කට් කරේ අන්තිම සතියේ තියෙන කුප්පියේ පිහිටෙන් ගොඩ යන්න හිතාගෙන. ඒ හින්ද සීයට අසූව නැහැ කියලා සෑහෙන විරෝධයක් විශ්ව විද්‍යාලයෙන් ආවා. ඕනම ප්‍රශ්නයකින් ගොඩ එන්න විදිහකුත් තියෙන හින්ද හොර වෙද සහතික ටිකක පිහිටෙන් දෙයිනේ කියල විභාගෙ ලිව්වා. හැබැයි ඒකෙත් මහ ලොකු හොදක් වුනේ නැහැ.


ඉතිං මේ හැම දෙයක් අස්සෙම බැචාගේ හිතේ මේ ටිකේ තියෙන්නේ සෑහෙන කලකිරීමක් වගේම පසුතැවිල්ලක්. විශ්ව විද්‍යාලෙ කියන්නෙ ඉස්කෝලයක් නෙවේ ඊට වෙනස් තැනක් කියලා බැචාට ටික ටික තේරෙන්න පටන් ගත්තේ ලගක ඉදං. ඉස්කෝලෙ නම් මොනව කරත් හිටපු සර්ලා මිස්ලා අනුකම්පාවෙන් බැලුවා. කොහොම හරි උගන්නන්න ඕන ටික ඉගැන්නුවා. ඉස්කෝලේ වෙලාවෙ බැරිනම් නිවාඩු දවසක ගෙන්නලා හරි ඉගැන්නුවා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නෙ වෙනස් තැනක්. විශ්ව විද්‍යාලෙ කියන්නේ පන්න පන්න උගන්නන තැනක් නෙවේ. ඕනෙ නම් ඉගෙනගන්න පුළුවන් තැනක්. ඉස්කෝලෙ වගේ ඔළුව අත ගගා හුරතල් කිරිල්ලක් විශ්ව විද්‍යාලෙ නැහැ. අපි එක එක දේට පංති වර්ජන කරද්දි ඒවයේ පාඩුව අපිටම විද දරාගන්න ඉඩ දුන්නේ ඒ හින්ද වෙන්න ඇති. එක්කෙනෙක්වත් පංතියට ආවෙ නැත්තං නම් ලකුණු කරන්නේ නෑ; ඒ හින්ද සීයට අසූවට පාඩුවක් නෑ කියලා අපේ ජ්‍යෙෂ්ටයෝ(සින්නෝ) බණ කිව්වා. හැබැයි ඒවත් ගණං කරල තියෙනව කියල දැනගද්දී කට්ටියගෙම සීයට අසූව අඩු වෙලා ඉවරයි.


ඔය ප්‍රශ්නෙම රැග් සීසන් එකෙත් තියෙනවා. හොස්ටල් වල නවක වදේ දෙනකොට සමහර ගුරුවරු නොදැක්කා නෑහුනා වගේ ඉන්නවා. හොස්ටල් එකේම නවාතැන් ගත්ත ලෙචාලට මේක රහසක් වෙන්න හේතුවක් නෑ. නමුත් ඒවට කිසි මැදිහත්වීමක් වෙන්නෙ නැත්තෙ ඇයි කියල බැචාට ඒ කාලෙ ලොකු ප්‍රශ්නයක් (වගේම තරහක්) තිබ්බා. ඒක ටික ටික තේරෙන්නෙත් දැනුයි. විශ්ව විද්‍යාලෙ කියන්නෙ වැඩිහිටියන් අධ්‍යාපනය ලබන තැනක් මිසක් මොන්ටිසෝරියක් නෙවේ. ඉස්කෝලේ විදුහල්පති වේවැල අරන් ළමයි පස්සෙ පන්නනවා වගේ උපකුලපතිතුමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පන්නන සිරිතක් නැහැ (බැචීලගෙ කන්‍යාභාවය පිරික්සන උපකුලපතිවරුන් සිටීම වියතිරේක අවස්ථාවක් බව කරුණාවෙන් සලකන්න). විශ්ව විද්‍යාල වල පරිසරය තීරණය කරන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඔවුන්ගේ තේරීම කොච්චර පටු වුනත්, මිලේච්ඡ වුනත් අවශ්‍ය මගපෙන්වීමක් කරනවා විනා ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීම විශ්ව විද්‍යාල වල ස්වභාවයයි.


කොහොම කොහොම හරි අපිට ඉගෙන ගන්න නියමිතව තිබිච්ච ඇතැම් දේවල් අපේම වරදින් ඉගෙන ගන්න තිබ්බ අවස්ථාව අපිම අහිමි කරගත්තා. ඒකෙ බරපතල කම මේ විභාගෙදි අපි කාටවත් දැනුනෙ නෑ.  මොකද ඒ තත්වය අපි හැමෝටම පොදුවුන හින්දා. නමුත් ඉස්සරහ දේවල් ඉගෙන ගන්න අමාරු වෙනකොට, අතහැරුණු දේවල් වල අගය හැමෝටම වැටහෙනවට සැකයක් නෑ. අපි නොදන්න දේවල් කැළණියේ, කොළඹ කට්ටිය දැනගෙන අපි ටික ටික පස්සට යනඑකටත් කිසි සැකයක් නෑ. ඕකට තමයි දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ. ඕකට “ඉදිරිය නොපෙනීම“ කියල කියන්නත් බැරිකමක් නෑ.


මොනව උනත් ඉස්සරහ සෙමෙස්ටර් එකවත් හොදට කරන්න තමයි බැචාගේ අරමුණ. බැචා ඉගෙන ගත්ත පාඩම් අනික් බැචාලත් ඉගෙන ගනිත්වා කියලා බැචා ප්‍රාර්ථනා කරන්නේ ඕක බැචාට විතරක් තේරිලා කිසිම වැඩක් නැති හින්දයි. ඒකටත් දිට්ඨධම්මවේදනීය කර්ම කියන්න පුළුවන්ද මන්දා..

Tuesday, January 11, 2011

උප සංස්කෘතියක 'ලොකු' කළු පැල්ලම


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දියාවේ නවකවදය දෙන්නේ මෙහෙම(ලු)
මිනිසෙක් මිනිසෙක් වෙන්නේ කකුල් දෙකක්, පපුවක් හා ඔළුවක් තිබෙන හින්දම නෙවේ. ඒ කකුල් දෙකයි ඔළුවයි අතර තියෙන පපුව මැද හදවතක් තිබෙන නිසයි. මිනිසත්කම ඕපපාතිකව මිනිස්සු අතර ඇති වුණ දෙයක් නෙවේ. සියවස් ගණනාවක්, පරම්පරා ගණනන මිනිසුන් විදි අත්දැකීම්, වේදනාවන්, හැගීම් වල ප්‍රතිළුලයක් විදිහට ඇතිවුනු සංකල්පයක්. ගල් යුගයේ ස්වාර්ථය පමණක්ම පැතූ ගල් වැද්දා සහ ශිෂ්ටාචාර ගත වෙච්ච වර්තමාන මිනිසා අතර තියෙන ප්‍රධාන කඩයිම් රේඛාවත් මිනිසත්කමමයි. ඒක හරියට ශිෂ්ටත්වයේ සංකේතය වගේ කිව්වොත් නිවැරදියි.

බැචා හිතන විදිහට මිනිස්සු කියන්නේ ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී වර්ගයක්. බලය කේන්ද්‍රකරගත්ත් ස්වාර්ථය පමණක් අරමුණු කරගන්න පෙලඹුමක් තියෙන පිරිසක්. හැබැයි ශිෂ්ටත්වයේ ක්‍රියාවලියත් එක්ක මේ ස්වභාවික පෙළඹීම් වලින් විතැන් වෙන්න මිනිස්සු තීරණය කරා. තමන්ට වගේම අනුන්ටත් යහපතක් කරන්න මේ ස්වභාවික අභිලාෂයන්ගෙන් ඉවත් වෙන්න ඕන කියන එක ශිෂ්ටත්වයේ පදනම වුනා. ලෝකයේ මෙතෙක් බිහිවෙලා තියෙන විශිෂ්ටතම දර්ශනය වන සමාජවාදයේත්, නිදහස්ම ආගම වන බුද්ධ ධර්මයේත්, සාර්ථකතම පාලන තන්ත්‍රය වන ප්‍රජාතන්ත්‍රවාදයේත් පදනම මේ සරල සංසිද්ධියයි.

නමුත් බලය අයුතු විදිහට හසුරවන්න පුළුවන් සුවිශේෂි අවස්ථා වලදී නැවතත් පරණ පුරුදු ස්වභාවික චර්යාවන්ට මිනිස්සු යොමුවෙනවා. තුන්වන ලෝකයේ දේශපාලකයන්ගේ හැසිරීම පැහැදිලි කරන්න පුළුවන් සරලතම ආකාරය මේකයි. ලංකාවේ, පකිස්ථානයේ, සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලකයන්ට තියෙන බලය සීමා රහිතයි. ඒ වගේ බලයක් අතට ලැබුනම සමාජයේ සම්මතයන්, ශිෂ්ටත්වයේ සීමාවන් ඔවුන්ට අමතක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වඩා දියුණු රටවල check and balancing සංකල්පය හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රවණතාව වලක්වන්නයි. මොනා උනත්, මේ විදිහේ අන්තනෝමතික හැසිරීම් ශිෂ්ට සමාජයක යහපැවැත්මට ඇති කරන ඍණ බලපෑම අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ.(ලංකාවේ වත්මන් තත්වය ගැන හිතල බලන්න කියලා බැචා විශේෂයෙන් ඉල්ලා සිටිනවා) ඒ වගේ තත්වයකදී සමාජය තුලින් ප්‍රතිවිරෝධී බලවේගයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වෙනවා විතරක් නෙවේ; සමාජයේ යහපැවැත්ම තීරනය කරන තීරක සාධකයකුත් වෙනවා.

නවකවදය‍; මේ ලිපියේ කේන්ද්‍රීය වචනය කරලියට එන්නෙත් මේ පසුබිම යටතෙයි. ලංකාවේ ඕනම ආයතනයක ජ්‍යෙෂ්ඨත්වයට වැදගත් තැනක් ලැබෙන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්කමයි. අධ්‍යාපන ආයතන සම්භන්දෙනුත් මේ තත්වය වලංගුයි. අනික් හැමතැනකදිම වගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා අධිආරෝපණය වෙච්ච බලය තමන්ගේ විකෘති ආශාවන් වෙනුවෙන් පාවිච්චි වීමකුයි නවක වදයෙදිත් සිද්ධ වෙන්නේ. නමුත් වැදගත්ම කාරණය මේ අයුතු බලය යොදවන්නේ විශ්ව විද්‍යාලය ගැන හව්හරණක්වත් නොදන්නා අසරණයන් පීඩාවට පත්කරන්න වීමයි. ඒ හන්දම ඒක වැදගත් වගේම ඛේදනීය කාරණයකුත් වෙනවා. විශ්ව විද්‍යාලයට තේරී පත්වන අතිමහත් බහුතරය සෑහෙන්න දුක්විදපු අහිංසක දෙමව්පියන්ගෙ දුවා දරුවෝ. ඔවුන් එන්නේ අළුත් පරිසරයකට. නන්නාදුනන නගරයකට. මේ හේතූන් වලට ඔවුන් ලක්වෙලා ඉන්න සමාජ පසුගාමීත්වයත් එකතු වුනාම, මුල්ම දිනයේ විශ්ව විද්‍යාලයට එන ඔවුන් තුල තියෙන්නේ බියක්; සැකයක්; දෙගිඩියාවක්.

මෙවන් පසුබිමක් තුල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන්න ඕන ඔවුන් ආදරයෙන් පිලිඅරන් ඒ පරිසරයට හැඩලස්වන එකයි. එහෙම කරන එක ඔවුන්ගේ යුතුකමයි. නමුත් අවාසනාවකට ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකෙ පරස්පරයයි. ඒ, තමන්ගේ සමාජීය, ආර්ථික, ලිංගික පීඩාවන් සන්තර්පණය කරගන්න නින්දිත විදිහට අළුත් ශිෂ්‍යයන් නවකවදයට (ශිෂ්‍ය අනුගතකරණ ක්‍රියාවලිය - අර්ථදැක්වීම අ.වි.වි.ශි.බ.ම) පත්කිරීමයි. ඔවුන් පත්වෙලා ඉන්න සුවිශේෂී අසරණ බව තමන්ගේ ජඩ ආසාවන් වලට බිල්ලට දීම මිලේච්ඡයි යන්න අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ක්‍රියාවලිය කුමන තත්ව යටතේ වුවත් අමානුෂිකයි යන්නයි බැචාගේ හැගීම. මොනව වුනත් මේ තත්වය තවත් බැරෑරුම් වෙන්නේ නවකවදය අස්සේ දීර්ඝකාලීන දේශලපාලන අරමුණකුත් හැංගිලා තියෙන හින්දයි. නවකවදයේ මානසික පැත්ත හා මේ මුළු ක්‍රියාවලිය ගැන ඉස්සරහදී විස්තර කරන්න බැචා සූදානම්. මේ ලිපිය ඒ සදහා ගන්න‍ා ප්‍රවේශයක් පමණයි.

නවකවදය පිලිබද සමාජය ඇත්තටම දැනුවත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව නවකවදය ලද්දෙකු ඒ පිලිබද සම්පූර්ණ විස්තරයක් සමාජයේ බාහිර කෙනෙක්ට කරන්න තියෙන අකමැත්තයි. (එහෙම අකමැත්තක් ඇතිවීම පුදුමයට කරුණක් නෙවේ). ‍

නවකවදය කෙසේ වෙතත්, ඊට සම්භන්ධ පසුබිම් කරුණු ගැන කතා කරන්නයි බැචාගේ ප්‍රයත්නය. නවකවදයේ පිහිටෙනු විශ්ව විද්‍යාලයේ පාලනය දේශපාලන කණ්ඩායම් අතට යන්නෙ කොහොමද, ඒ දේශලපාලන කණ්ඩායම් විශ්ව විද්‍යාලය ක්‍රියාදාම කඩාකප්පල් කරන්නෙ කොහොමද කියලා ඉස්සරහදි කතා කරමු. බැචාගේ මුල්ම ලිපිය අවසන් කරන්න කලින් පොඩි එකතු කිරීමක් කරන්න හිතුණා. ලංකාවේ නවකවදය අතුගාලා දාපු විශ්ව විද්‍යාල තියෙනවා. එහෙම පීඨත් තියෙනවා. කොළඹ විශ්ව විද්‍යාලය කියන්නේ එහෙම විශ්ව විද්‍යාලයක්. ඉතිං එහෙම තත්වයක් හැම තැනම ඇති කරන්න පුළුවන්නං මොනව නැතත් කොන්ද කෙලින් තියන් කැම්පස් යන්න පුළුවන් තත්වයත් හැමතැනකම ඇතිවෙයි කියලා බැචාට හිතෙනවා. ඉතිරිය පසුවට...

කෝලමක් නොවන බැචාගේ කොලම

බැචාගේ බැචාලා
බැචා කියන්නේ අවුරුදු දා හතරක් දහ දුක් විදලා දෙයියනේ කියලා යාන්තන් විස්ස විජ්ජාලෙට ගිය තවත් කොල්ලෙක්.


ඉතිං බැචත් කොලමක් ලියන්න හිතුවා. කැම්පස් ජීවිතේ ගැන, බැචාලා බැචීලා ගැන විතරක් නෙවේ විස්ස විජ්ජාලේ තියෙන නා නා ප්‍රකාර විජ්ජා ගැනත් ලියන්න බැචා හිතං ඉන්නවා. පහුගිය සතිදෙක තුනේ පත්තර කියවපු. ප්‍රවෘත්ති බලපු හැම දෙනාටම විස්ස විජ්ජාලෙ කිව්වම කෝලමක් මතක් වෙන තැනට මාධ්‍ය මහත්වරු පහුගිය ටිකේ කටයුතු කරලා තිබ්බා. නමුත් බැචාගේ කොලම කෝලමක් නොවන වග බැචාම කියන්නේ සෑහෙන වගකී‍මකින්.


බොහොම සරලයි කියල මතුපිටින් පේන්න පුළුවන්. හැබැයි මතුපිටින් පේන ඒ සරලත්වයට යටින් සෑහෙන්න ගැඹුරු අදහස් ගොන්නක් බැචාගේ කොලමේ ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා. බැචාගේ සමහර අදහස් රැඩිකල් වෙන්නත් පුළුවන්. ඒ අදහස් දැකල බැචාගේ බැචත්වය ගැන සමහරු ප්‍රශ්න කරන්නත් ඉඩ තියෙනවා. නමුත් බැචා ලියන්නේ නිදහස්ව...ස්වාධීනව!


ඒ හැම එකක් අතරෙම බැචාගේ කොලම කියවන හැමෝගෙම අදහස් දැනගන්නත් බැචා විවෘතව ඉන්නවා. එහෙනං අරඹමු බැචාගේ කොලම!