Sunday, June 19, 2011

ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි

සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්‍රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්‍රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි.


විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)


උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්‍රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ.


මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?


දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද?

7 comments:

  1. හොඳට ලියලා තියනවා බැචා. මේකට උත්තර දෙන්න දැන් උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න වාචාලයට කිය කිය, උගෙන් සුන්දර ටෝක් අහ අහ තව කොච්චර දවස් ඉන්න වෙයිද දන්නෙ නෑ. ඒත් උන්ට මේවා එච්චර ගානක් නෑ බං. දාහක් මැරිලා හරි තව මන්දිරයක් ගහගන්න තියනවා නම් ඌට ඇති.

    ReplyDelete
  2. Positive Govt intervention to this matter is required urgently.. V r wasting valuable time @ home.. V can't afford foreign degrees. Local university lecturers are doing an admirable service staying in SL without migrating for better perks. They are not being rewarded enough.. So pls Govt take some action soon!!

    ReplyDelete
  3. ඇතත මචන් ..@චන්දික

    ReplyDelete
  4. තමන්ට බලය තියාගන්න රට ගැන කිසිම කැක්කුමක් නැතුව නායකයො ගන්න තිරණ හින්දයි හැමදාම අපි පස්සට ගියෙ ලොකෙ. උගත් මනුස්සයෙක්ම තමයි තවත් උගත් මනුස්සයෙක්ගෙ අගය දන්නෙ.රටෙ වටිනම මිනිස්සුන්ට සලකන හැටි මෙ මිනිස්සු. කටුස්සන්ගෙ කරෙ රත්තරන් බැන්දෙත් අපෙම මිනිස්සු දැන් ඉතින් මෙවා අමාරුවෙන් හරි බලාගෙන ඉමු.

    ReplyDelete
  5. ඇත්තටම වර්ජනය සාර්ථකයි එස්.බී. කියන මෝඩයාට නොපෙනුනාට. රටක උගත්/ බුද්ධිමත් පෙළක් හදන මේ ආචාර්ය මහාචාර්ය වරුන්ට මේ රට සලකනවා හොදටම මදි. වසර ගණනක් ආචාර්ය/ මහාචාර්ය උපාධි වෙනුවෙන් කැපකරලා නැවත මේ රටට එන විට ඔව්න් හා එක බැච් එකේ සිටි අය මෙන් අඩකටත් අඩු පඩියකට වැඩ කරන්න වෙනකොට මේ රට අතෑරලා වෙන රටකට යන්න හිතෙන එක සාධාරණයි මම නම් හිතන විදියට.

    ReplyDelete
  6. @ bathcha

    So what else we should do instead of hooting the guy?:)

    - Kapruskhi

    ReplyDelete