Monday, November 26, 2012

ඉරාජ් සිරාවට රොක් පොරක්ද?


වෙලාවකට පුදුමත් හිතෙනවා මිනිස්සු හිතන විදිහ ගැන හිතුවම. අපි ගොඩක් දේවල් ගැන ආඩම්බර වෙනවා.හැබැයි ඒ දේවල් වලින් අපිට ඇත්තටම වැදගත් මොනවද කියලා බැලුවම හිනහත් යනවා. අපි හිතන්නෙ පතන්නේ අපිට ඕන විදිහටද? නැත්තං වෙනකාට හරි ඕන විදිහකටද? බැචා කියන ආත්මාර්ථකාමී පුද්ගලයා තමන්ට ඕන විදිහට විතරක් තීරණ ගන්නවනං බැචා ගන්න තීරණ කොච්චර වෙනස් වේවිද?

මේ දවස්වල කොළඹ පැත්තේ යන කට්ටිය දැකලා ඇති ගෝල්ෆේස් එක ඉස්සරහා විසාල බිල්ඩින් ගහන්න සැලසුම් කරලා තියෙන විදිහ.. ඕක දැක්කම බැචාටත් ආඩම්බරයක් හිතුනා. කොච්චර එකක්ද ලංකාවේ මෙහෙම ඒවා හැදෙන එක. බැචාට වගේම ඔය දේ තව දහස්ගණකට හිතුන බවට සැකයක් නෑ. හැබැයි ඔතන තියෙන උත්ප්‍රාසේ කියන්නේ බොහෝවිට බැචාලට ඔය හෝටල් වලට‍ යන්නත් බැරි වේවි පණ තියෙනකන්. බැචා කොහොම හරි ගියා කියමුකෝ; ඒත් ඒ දිහා බල බල සතුටුවන දහස්ගණනක් අසරණ මිනිස්සුන්ට ඒක හීනයක් විතරක් වේවි කියලයි බැචාට හිතෙන්නේ.

ඉතිං ඇත්තට අපිට ප්‍රයෝජනයක් නැති, අපිට යන්නත් බැරි බිල්ඩිමක් හදනවා දැක්කම අපිට සතුටු හිතෙන්නේ ඇයි?  අපිට අයිති නැතත් ඒ දේ අපේය කියන හැඟීම අපේ හිතට ඇතුල් කරලා නේද? හරියට කොළඹ - මාතර හයිවේ එක වගේ. හයිවේ එක හදද්දි ඒක පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ට මැජික් එකක් උනාලුනේ. හැබැයි හැදුවයින් පස්සේ ඒ මිනිස්සුනට අවහිරයක් ඇතිඋනානං මිස ලැබිච්ච දෙයකුත් නැහැලු. ඒත් මොකුත් කියන්නත් බැහැ. මොකද හයිවේ එක "අපේ(රටේ) වැඩක්"නේ.

එහෙම බලද්දී අහසට යවන්න යන සැටලයිට් එකත් ඔයවගේ සුකුරුත්තමක් තමයි. අපිට වැඩක් තියෙනවද දන්නේත් නෑ. ඒත් කවුදෝ හිතට දාපු ආඩම්බරකාර හැඟීමක් හින්දා හැමෝගෙම හිත් පිබිදිලා. 

තව හිතද්දී සදාම් හුසේන් ගැනත් මතක් වුනා බැචාට. සදාම් හුසේන් අපිට කරපු වැරැද්දකුත් නෑ. ඒත් කවුදෝ හිතට දාපු අදහස් හින්දා සදාම්ව මතක් වෙද්දී ඇඳෙන්නේ අපරාධකාරයෙක්ගේ චිත්‍රයක්. හරිම උත්ප්‍රාසජනකයි නේද? ඇත්තටම ඒ මනුස්සයා ඔය කියන විදිහෙ කාලකන්නියෙක් වෙන්න ඇද්ද? රනිල් ඇත්තට කොටියෙක්ද? ගාන්ධි ඇත්තට වීරයෙක්ද? සායිබබා ඇත්තට ශාන්තුවරයෙක්ද? ප්‍රභාකරන් ඇත්තට සාහසික මිනීමරුවෙක්ද? ඉරාජ් සිරාවට රොක් පොරක්ද? -- ප්‍රශ්න වැලයි!!!

හැබැයි ඔතන තියෙන භයානකම දේ ඕක නෙවේ. මිනිස්සුන්ට විනකරන, මිනිස්සුන්ට හැබෑවට කරදරයක් වෙන දේවලුත් සුදුපිරුවට දාලා වඩම්මන්න ඉඩ තියෙනවා කට්ටිය. අපි ඒවට එපා කියයිද? මට නං සැකයි. මොකද, අපි හිතන දේවල් තීරණය කරන්නෙත් එයාලම තමයි!

No comments:

Post a Comment